රාජකීය විද්‍යාලයීය දමිළ සාහිත්‍ය සංගමය. තාක්ෂණයත් සමඟින් ඉදිරියටම.

September 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

එකමුතු බවේ සුවි‍ශේෂී සංකේතයක් වන කොළඹ රාජකීය විද්‍යාලය තුළ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක‍යේ තවත් සහෝදර සංගමයක් වන දමිළ සාහිත්‍ය සංගමය පසුගිය අගෝස්තු මස 18වෙනි දින සිය සංගමයේ නිල වෙබ් අඩවිය නිකුත් කළා. යුනිකේත අක්ෂර භාවිතයෙන් නිමවා ඇති මේ වෙබ් අඩවිය හරහා ඔවුන් තම සංගමය වඩාත් පුළුල් පරාසයක් දක්වා විහිදුවාලීමට බලාපොරොත්තු වනු දැකීම සතුටක්. ඔබට http://www.royaltamillit.com/ වෙබ් ලිපිනය හරහා කොළඹ රාජකීය විද්‍යාලයීය දමිළ සාහිත්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමේ හැකියාව ලැබෙනවා.

රාජකීය විද්‍යාලය තුළ පැරණිම සහ ක්‍රියාකාරී සංගම් අතර ඉදිරියෙන් සිටින දමිළ සාහිත්‍ය ඒකකය 1938 වසරේදී ආරම්භ වූවක්. තරුණ රාජකීයයන්ගේ ආත්ම විශ්වාසය, නායකත්ව කුසලතාවත් සහ චරිත සංවර්ධනය උදෙසා භාෂාව හරහා විශාල සේවාවන් රැසක් ඔවුන් මේ වන විට අවුරුදු 70කට ආසන්න කාලයක් ඉටු කර ඇතිවාක් මෙන්ම මින් ඉදිරියටද ඔවුන් අඛණ්ඩව සංගමයක් ලෙසින් ඉදිරියට කටයුතු කරනු ඇති.

සාහිත්‍ය සංගමයකින් ඉටු කෙරෙන භාෂා හා සාහිත්‍යමය වර්ධනය උදෙසා සිදුවන ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ සංග‍මයේ අඩුවක් නැහැ. රාජකීය විද්‍යාලයීය දමිළ සංස්කෘතික  දිනය සහ දමිළ විවාද කවුන්සිලය සමඟින් එක්ව පැවැත්වෙන වාර්ෂිකව අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය ඒ සඳහා උදාහරණ දෙකක් පමණයි. එම ක්‍රියාකාරකම් අතරතුරම ඔවුන් වාර්ෂිකව සඟරාවකුත් මුද්‍රණය කරනවා. ඒ වාගේම, භාෂා හා සාහිත්‍ය කුසලතා වර්ධනය සඳහා ඔවුන් විවිධාකාරයේ වැඩමුළුද සංවිධානය කරනවා.

ඔවුන්ගේ සේවාව පාසල තුළට පමණක් සීමාවන්නේ නම් නැහැ. දිවයින පුරා පාසල් වෙත ආරාධනා කරමින් ඔවුන් අන්තර් පාඨශාලීය සාහිත්‍ය තරගාවලි පවත්වන්නේ ඒ නිසාවෙන්.

පාසල් තුළ පිලිකෙව් කෙරෙන ෆේස්බුක් හා වෙනත් සමාජ ජාල වඩාත් ඵලදායී ලෙසින් අධ්‍යාපනික හා සාමාජයීය ක්‍රියාකාරකම් උදෙසා භාවිතා කිරීමේ වැදගත්කම ‍ඔවුන් ඔවුන්ගේ ෆේස්බුක් සමූහය හරහා පෙන්නුම් කරනවා. එමෙන්ම ඔවුන් NING සේවාව හරහා ඔවුන්ගේ ජාලයක්ද නිර්මාණය කරගෙන.

අපි, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වශයෙන් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු සඳහා ඔවුන්ට අපේ උණුසුම් සුබපැතුම් එකතු කිරීමට කැමතියි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ භාවිතාවන් තුළින් පුළුල් පරාසයක් දක්වා සිය කටයුතු විවර කිරීම සුබ අනාගතයක පෙරනිමිති පහළ කරනු ඇතැයි අපේ විශ්වාසය.

ඉදිරි වර්ශයේදී අ‍පගේ බ්ලොග්කරණ තරගාවලිය දමිළ භාෂා හා සාහිත්‍ය සංගමය හා ඉංග්‍රීසි භාෂා හා සාහිත්‍ය සංගමය සමඟින් එක්ව වඩාත් පුළුල් පරාසයක් තුළ පැවැත්වීමයි අපේ අරමුණ.



එක් ප්‍රතිචාරයක් to “රාජකීය විද්‍යාලයීය දමිළ සාහිත්‍ය සංගමය. තාක්ෂණයත් සමඟින් ඉදිරියටම.”
ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft