බ්ලොග්කරණය

බ්ලොග්කරණය. අන්තර්ජාලයට ආධුනිකයින්ට නම් නුහුරු නුපුරුදු වදනක්. නමුත්, අන්තර්ජාලය පිළිබඳ දැනුමැති, අන්තර්ජාලය පරිශීලනය කරන පුද්ගලයින්ට නම් මෙහි විශාල නුහුරු බවක් දැනෙන්නේ නැහැ. මේ උත්සාහය අන්තර්ජාලයට ආධුනික, මෙම බ්ලොග්කරණය පිළිබඳව උනන්දුවකින් සිටින ඔබව දැනුවත් කිරීමටයි.

ප්‍රථමයෙන්. මෙම බ්ලොග්කරණය යන මාතෘකාව පිළිබඳව ඔබට ඇති වන ගැටලු කිහිපයක් අපි සරලව සාකච්ඡාවට බඳුන් කරමු.

මොකක්ද මේ බ්ලොග් අඩවි?

බ්ලොග් අඩවි කියන්නේ වෙබ් අඩවි වර්ගයක්ම තමයි. නමුත් සාම්ප්‍රදායික වෙබ් අඩවි ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස්. පුද්ගලික සිතුම් පැතුම් පමණක් නොවෙයි. දාර්ශනික අදහස්, සංගීතය, සාහිත්‍ය මේ හැ‍ම දෙයක්ම අන්තර්ජාලය හරහා ප්‍රචාරණය කරන්න ඉඩ ලැබෙනවා වාගේම, ඒ පිළිබඳව පාඨක ප්‍රතිචාරත් ඉතාමත් ඉක්මනින් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙය දෙවෙනි වෙබ් පරම්පරාව තුළ ඉදිරියට පැමිණි ඉතාමත් සුවි‍ශේෂී ලක්ෂණයක්. සාමාන්‍ය සම්ප්‍රදායික පුවත්පතක හෝ විද්‍යුත් මාධ්‍යයක තම නිර්මාණ පළ කරගන්නවාට වඩා ඉතාමත් පහසුවෙන් පුද්ගලික බ්ලොග් අඩවියක් හරහා එය ලොව පුරා ප්‍රචාරණය කරගැනීමට ලැබීමත් සුවිශේෂී ලක්ෂණයක්.

බ්ලොග් අඩවි, බ්ලොග්කරණය පිළිබඳ තවත් විස්තර මෙතැනින් ලබාගන්න. කියවන්න විතරක් නෙවෙයි. ඔන්න දැං සිංහලෙන්ම සවන්දීමේ හැකියාව ඔබ සතුයි.

බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම සඳහා තාක්ෂණික දැනීමක් අවශ්‍ය ද?

එක්තරා මට්ටමක තාක්ෂණික දැනීමක් අවශ්‍ය වුනත්, තාක්ෂණික දැනීමක් නොමැති පුද්ගලයෙකුට වුනත් ඉතාමත් පහසුවෙන් බ්ලොග්කරණය ග්‍රහනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ තරමට බ්ලොග්කරණය හරිම සරලයි. සුගමයි. අත්‍යාකර්ෂණීයයි.

ඉතින් අපි බ්ලොග් අඩවියක් විවෘත කරන්නේ කොහොමද? මුදල් ගෙවන්නත් ඕනේ ද?

නැහැ. මුදල් ගෙවීමක් ඇත්තේ ම නැහැ. මුලින් කිව්වා වාගේ ඉතාමත් පහසුවෙන් බ්ලොග් අඩවියක් විවෘත කිරීමට අන්තර්ජාලය හරහා ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට බ්ලොග් අඩවියක් නොමිලේම විවෘත කරදීමට අන්තර්ජාලයේ ඉතාමත් විශිෂ්ට සේවා සපයන්නන් රාශියක් සැදී පැහැදී සිටිනවා. මේ ඒ ගැන විස්තර කිහිපයක්…
බ්ලොගර් (Blogger) සේවාව.
බ්ලොග්කරණයට නවකයෙක්ට නම් බ්ලොගර් සේවාව තරම් පහසු සේවාවක් වෙනත් ස්ථානයකින් ලබාගත නොහැකියි පැවසීම අතිශයෝක්තියක් නම් නොවෙ යි. ප්‍රකට ගූගල් වෙබ් අඩවි ජාලයට අනුබද්ධ මෙම සේවාව වෙත ඔබට නොමිලයේම ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. හරිම සරලයි වගේම ඉක්මන්.
පිවිසෙන්න www.blogger.com වෙත
වර්ඩ්ප්‍රෙස් (Wordpress) සේවාව.
අන්තර්ජාලය තුල පවතින ඉතාමත් ජනප්‍රිය සේවාවකි වර්ඩ්ප්‍රෙස්. සුවි‍ශේෂ පහසුකම් රැගත් මේ සේවාව පදනම් වනුවේ වර්ඩ්ප්‍රෙස් නමැති සරල වෙබ් මත පදනම් වූ මෘදුකාංගය මතයි. මෙම සේවාව බ්ලොගර් සේවාවට වඩා තරමක් සංකීර්ණයි. නමුත් ඉතාමත් බලවත්!
පිවිසෙන්න www.wordpress.com වෙත

මයිබ්ලොග් සේවාව. (MyBlog)
“ලොවටම පෙනෙන්න, රිසිසේ ලියන්න.” නම් ඔබට මයිබ්ලොග් සේවාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මෙය පවත්වාගෙන යනු ලබන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසිනුයි. මුලින් කී වර්ඩ්ප්‍රෙස් වෙබ් මෘදුකාංගය මතයි මෙයත් ක්‍රියාත්මක වන්නේ. නමුත් වෙනස් ආකාරයකට. මොකක්ද මේ වෙනස? ඔව් මුලින් කී වර්ඩ්ප්‍රෙස් සේවාව ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මේ මයිබ්ලොග් සේවාව ක්‍රියාත්මක වන්නේ අපේ මව් බස වන සිංහල භාෂාවෙන්. ඉතින් මෙම සේවාවත් ඔබට ඉහත කී වර්ඩ්ප්‍රෙස් තරම්ම සේවාවක් සපයනවා කිව්වොත් නිවැරදියි.
පිවිසෙන්න www.myblog.lk වෙත

නොමිලේ මෙවැනි සේවාවන් ලබා දෙන තවත් වෙබ් අඩවි තිබුනත්, මෙම සේවාවන් ත්‍රිත්වයෙනුත් පළමුවෙන්ම සඳහන් කර ඇති සේවාවන් 2 තමයි අපේ නිර්දේශය නම්. නමුත් ඔබේ කැමැත්ත අනුව මෙම සේවාවන් තුනම භාවිතා කරලා වඩා හොඳ සේවාවක් තෝරාගැනීම සම්බන්ධයෙන් නම්, අපේ කිසිම විරුද්ධතාවක් නැහැ.

ඒ වගේම මීට අමතරව ඔබට මුදල් හදල් ඇත්නම් තමන්ගේම කියලා තැනක බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්න පුලුවන්. නමුත් ඊට කලින් මේ පිළිබඳව තාක්ෂණික හැදෑරීමක් සිදුකර තිබීම ඉතාමත් වැදගත්.

මට ප්‍රශ්නයක්! සිංහල භාෂාවෙන් යතුරුලියනය කරන්නේ කොහොමද?

ඔව්. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. පරිගණකයේ සිංහල භාෂාවෙන් යතුරුලියනයේ යෙදීමට නම් ප්‍රථමයෙන් සිංහල යුනිකේතය ඔබේ පරිගණකයේ පිහිටුවාගත යුතුයි. ඊට පසු…
මෙන්න මේ ලිපිය පරිශීලනය කරන්න. මෙන්න තවත් ‍උපකාරක යොමු වීම් රැසක්.

සිංහල බ්ලොග්කරණය පිළිබඳ තවත් විස්තර ඔබට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියි. ඒ වගේම මෙම වෙබ් අඩවිය හරහාද ඔබට ඉදිරියේ විශාල තොරතුරු රැසක් ලබා ගැනීමට හැකි වේවි.

ඉතින්, මෙන්න අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්!

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft